විවාහ මංගල්‍යය

සුබ නැකැත් භාරදීම

නැකත් කොළය බහාලූ මංජුසාව කැටුව මනාලයා, මනාල පාර්ශවයේ ප්‍රධාන උදවිය සහ අවශ්‍යනම් බෙහෝ හිතවත් යහළුවකුද සමග කිරිබත්, කැවිලි හා කෙසෙල් මෙන්ම හැකිනම් කිරි මුට්ටි දෙක තුනක් සහිතව කල් වේලා ඇතිව මනාලියගේ නිවසට ගොස් අදාල නැකැත් වේලාව පැමිණි පසු මනාලයාගේ පියා විසින් මනාලියගේ මවුපිය දෙදෙනාට බුලත් හුරුල්ලක් මත තැබූ මංජුසාව විශේෂයෙන් සුබ දිශාව බලා බාරදීම සිදු කළ යුතු බව දම්සාර ජ්‍යොතිෂ සේවා ප්‍රථමයෙන් අවධාරණය කරයි.


මංගල උත්සවයට ආරාධනා කිරීම

කිරිබත් සහ කෙසෙල් ආදිය රැගෙන යා යුතු අතර දෙපාර්ශවයම එකම නැකතක්න් කිට්ටු නෑදෑයකුට හෝ මනාලයාට සහ මනාලියට ලෙන්ගතු මිත්‍රයකුට මඟුල් කීම සිදු කළ යුතුය. සුදු රෙදි කඩකින් ආවරණය කළ ඉලත් තට්ටුවක් මත වටේට බුලත් තබා නැකැත් වේලාවට සුබ දිසාව බලා මනාලියගේ සහ මනාලයාගේ වැඩිහිටියකු විසින් ආරාධනා කිරීමට තෝරාගත් තැනැත්තාට ලබා දී විවාහ උත්සවයට පැමිණෙන ලෙස ආරාධනා කළ යුතු වන්නේය. එහිදී ආරාධනා ලැබෙන තැනැත්තා විසින් තම ආර්ථික ශක්තිය අනුව ලියුම් කවරයක බහාලූ හෝ යම් මුදලක් නැකැත් කියූ තැනැත්තාට ලබා දීමද සිදු කිරීම සිරිත වේ. 

 

මනාලියට තෑගි ලබාදීම

මනාලියගේ ඇඟට පතට සරිලන සේ හැඩට වැඩට මසා නිම කරන ලද මංගල සාරිය ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ඇඳුම් පැලඳුම්ද රුගෙන මනාලයා සමග වැඩිහිටි අයද ගොස් අදාල නැකැත් වේලාවට සුබ දිසාව බලා මනාලයා විසින් මනාලියට තෑගි කළ යුත්තේය.

මංගල කප් සිටුවීමේ නැකැත

එකල විවාහ මංගල උත්සවය පැවැත්වූයේ දෙපාර්ශවයේ නිවෙස් වල බැවින් කිරි ගසකින් ලබාගත් කණු දෙක දෙදෙනාගේම නිවෙස් වල එකම නැකැත් වේලාවක සිටුවා පොල් මලක් සහ පොල් ලෙලි සහිත ගෙඩි දෙකක් කණුවේ ඉහළ මුදුන ආසන්නයේ බිමට නොවැටෙන සේ ගැටගසා සුදු රෙදි පටියක ගැටගැසූ පඬුරු කාසියක් රැගෙන, තෙරුවන් නැමද සියලු දෙවියන්ට පිං පෙත් පමුණුවා සිය මංගල උත්සවයට කිසිදු කරදරයක් බාධාවක් කිසිම අයුරකින් ඇති නොවී සියල්ල සතුටින් නිම කිරීමට සියළු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබේවායි පොරොන්දු ප්‍රාර්ථනාදිය සිදුකර සිටුවා ඇති කිරි ගසේ කණුවේ අදාල පඬුර ගැට ගසන්නේය. මංගල උත්සවය කිසිම කරදරයකින් තොරව අවසන් කර ගන්නට ලැබුණු පසුද දෙවියන්ට පින් පැමිණවීමට සුදුසු පින්කමක් සුදුකර පොරොන්දුවී ඇති අයුරින් බාරය නිදහස් කර ආරම්භයේදී කිරි ගසේ බඳින ලද පඬුර ලිහා දේවාලයක පඬුරු පෙට්ටියකට දමන්නේය.

සුබ නැකැතින් ළිප තැබීම

නැකැත් වේලාවට මංගල උත්සවය සඳහා පාවිච්චියට ගැනීමට නොඉඳුල්ව කැවිලි සකස් කිරීම මංගල දිනයට දින තුන හතරකට පෙර සිදු කිරීම සිරිතය. ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ තෙල් වලින් සකසන කැවිලි වර්ගයක් වන අතර කොකිස් වැනි දෙයක්ද අමතරව සෑදිය හැක. මෙම නැකැත් කටයුත්ත සිදු කල පසු අනෙකුත් කැවිලි වර්ග ඕනෑම වේලාවක සකසාගත හැකි අතර මුලින්ම සාදන කැවිලි වලින් පළමුව බුදුන්ට පූජා කර ඉතිරිය උත්සවය සඳහා පාවිච්චියට ආරක්ෂාකාරීව අසුරා තබා ගත යුතුය.

මංගල උත්සවයට පිටත් වීම

අඩුවක් නොවූ මංගල ඇඳුමින් සැරසුනු යුවල අදාල නිවෙස් වල සිට නිවැරැදි දිශාව බලා නියමිත පාදය ඉදිරියට තබා පිටත් විය යුතු අතර මනාලයාගේ ඉදිරියට ඔහුගේ මව වතුර පිරවූ වීදුරුවකට සෝදා පිරිසිදු කරගත් සුදු මල් දමා රැගෙන විත් “සිය දරුවාගේ අනාගතය කිසිදු කරදරයකින් තොරව තිසරණ සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් සාර්ථක වේවා.!” කියා සිතමින් ඉන් පැන් ටිකක් පොවන්නේය. මීට අමතරව වතුර පිරවූ කළයක් රැගත් නිරෝගී, කනවැන්දුම් නොවූ විවාහක ස්ත්‍රියක්ද මනාලයාගේ ඉදිරියට පමුණුවාලීම චාරිත්‍රයකි. එළියට බැස කාලය අපතේ හැරීම අසුබ වන අතර පිටත්වීම හැර අන් කිසිදු ක්‍රියාවකට යොමු වීම ඉතාමත්ම වැරැදි සහගත ක්‍රියාවකි.

වේල් තැබීම හෝ තැල්ල පැලඳවීම

මෙය මනාලියගේ මව විසින් හෝ ඇය නොමැති නම් පියා විසින් හෝ දෙදෙනාම නැත්නම් ලේ නෑදෑයකු විසින් සිදු කල යුතුය. පළමුව තෙරුවන් නමැද සියලු දෙවියන්ට පින් පමුණුවා නිවැරැදි දිශාව බලා සුබ වේලාවට “තිසරණ සරණින් සැම දෙවි පිහිටින් මාගේ දියණියගේ අනාගතය කිසිදු කරදරයකින් තොරව සතුටින් සමඟියෙන් යහපත් දරුමල්ලන් ලැබ සිය සැමියා සමඟ චිරාත් කාලයක් වැජඹී සිටීමට වාසනාව ලැබේවා.! ” ලෙස සිතා වේලය හෝ තැල්ල හිස මත පැලඳවිය යුතුය.

 

යුවළ පෝරුවට නැඟීම

පෝරුව කලින් භාවිතා කරන ලද්දක් නම් අඩි දෙකක් පළල හා අඩි තුනක් දිග කිරි ගසකින් ලබාගත් අලුත්ම ලෑල්ලක් ගෙන පෝරුව මත තබා ඒ මත්තට යුවළ නංවා පෝරුවේ චාරිත්‍ර ඉටු කල යුතුය. අඩුම තරමේ නැකැත් වේලාවට විනාඩි 15 ක් වත් තිබියදී යුවළම පාවහන් ගලවා පෝරුවේ දකුණු පසින් මනාලයාද, වම් පසින් මනාලියද සිටගත යුතු අතර මනාලිය තම මව හෝ පියා හෝ ලේ නෑදෑයකු විසින්ද, මනාලයා සිය පියා විසින් හෝ පිය පාර්ශ්වයේ පිරිමි අයකු විසින් පෝරුවට නංවා ස්තෝත්‍රාදිය ඒ පිළිබදව හොදින් දන්නා කියන පුද්ගලයකු විසින් ගායනා කර අනෙකුත් චාරිත්‍රද නිවැරැදිවසිදු කළ යුතුය. මෙහිදී සෑම විටදීම ජයමංගල ගාථා හෝ නිවැරැදි මංගල අෂ්ටක හැර වෙනත් අතින් දමා සාදන ලද කවි හෝ ගායනා සිදු කිරීම ඉතාම භයානකය වන අතර නිවැරැදි සුබ ඵල ලබා දෙන ශාස්ත්‍රානුකූලව සකස්කර නැති දේ ගායනා කිරීමෙන් වස් කවියකින් වන විපතක් සේම සිදු විය හැක. මංගල අෂ්ටක කීමට ලබා ගන්නා දරුවන් ගණන ඔතතේ ප්‍රමාණයක් විය යුතු වේ. තැළි පිළි ඇන්දවීම, මාල කර පැලඳීම, මුදු මාරු කිරීම, මවට පියාට තෑගි ලබා දීම, අතපැන් වත්කිරීම යන චාරිත්‍ර සඳහා වෙන වෙනම අවශ්‍ය වන්නේ නැත. පෝරුව මත යුවළ සිටින මුළු කාලයම සුබ මුහුර්ථයක් බැවින් බැවින් එම කාල පරාසය තුළ එම චාරිත්‍ර සියල්ල ඉෂ්ඨ කල යුතු වේ. තවද සුදු පිරුවට පෝරුවේදී මනාලයා විසින් දීම කළ යුතු අතර රතු සාරිය හැට්ටය පෝරුවේදී පැලඳවීම කල යුතු වන්නේම නැත.


යුවළ පෝරුවෙන් බැස්ස වීම

තලප්පාවක් ඔළුවේ බැඳගත් මනාලියගේ මාමන්ඩියකු විසින් නැකැත් වේලාවට යුවළ පෝරුවෙන් බස්සවා මනාලයාගේ මාමා කෙනකුට හෝ බාප්පාට යුවල බාර කරන්නේය. ස්තෝත්‍රාදිය ගායනා මැද එය සිදු කරන අතර පොළොවට පා තබනවාත් සමඟම “පුරා පුරා” යන වචනයද එම ස්තෝත්‍ර කියන තැනැත්තා විසින් කියත්ම මනාලියගේ බාප්පා කෙනකු විසින් හැකි තරම් එකවර පොල් ගෙඩිය බිඳ, පසුව දෝශ භංග වීමට අසල කුල්ලෙහි ඇති දෙහි ගෙඩියද දෙබෑ කර ඒවායෙහි අවශේෂ හැකි පමණ තිරිසන් සතුන්ට ආහාර නොවන පරිදි තැබීමට වගබලා ගත යුතු‍ය.


විවාහ ලියාපදිංචි කිරීම

ලියාපදිංචි කිරීමට පැමිණෙන තැනැත්තාගේ කාර්ය බහුලතාවය නැකතට හරස් වන්නේ නම් අත්සන් කොළය පමණක් රැගෙන විත් නැකැත් වේලාවට අනුව යුවතිපති දෙදෙනා විසින් අත්සන් තබා, ලියාපදිංචි කිරීමට පැමිණෙන තැනැත්තා පැමිණි පසු නීත්‍යානුකූලව අදාල ඉතිරි කටයුතු සිදු කිරීම වරදක් නොවේ.


මධුසමය සඳහා පිටත් වීම

කෙසේ හෝ මංගල උත්සව සභාව නැකත් වේලාවට ප්‍රථම සම්පූර්ණයෙන් අවසන් කර, මවුපියන් හා වැඩිහිටියන් නමැඳ අදාල නැකැතට එම පරිශ්‍රයෙන් පිටතට පැමිණිය යුතුය. යුවළ පිටවෙද්දී මනාලියගේ මව විසින් පිරිසිදු දිය බඳුනක් රැගෙන ඉදිරියට පැමිණ දරුවන් දෙදෙනාගේ “යුග දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා” යන සිතින් යුතුව දෙදෙනාටම වතුර ටික ටික පොවා ආශීර්වාද කරන්නේය. පැරැණි සුබ චාරිත්‍රය වන්නේ පෝරුවේ නැඟීමට අඳින ලද මංගල ඇඳු‍මෙන්ම පිටත් වීම බැවින් හැකි පමණින් එයම අනුගමනය කරන්නේ නම් වඩා ප්‍රතිඵලදායක වේ.

මහා මංගල උත්සවයට යුවළ පිටත් වීම

මංගල රාත්‍රිය ගත කළ ස්ථානයේ සිට මනාලයාගේ නිවසට පිටත් වීම මහා මංගල උත්සවය වන අතර වරථමාන තත්ත්වය වෙනස් වුවද, මෙම උත්සවයේ අවංක අරමුණ දීග ගිය දියණියගේ පතිව්‍රතාව, පවිත්‍රතාවය හෙවත් පිරිසුදු බව සිය නෑදෑ හිතමිත්‍රාදීන්ට ප්‍රකාශ කිරීමයි. පෝරුවේදී අන්දවන ලද සුදු පිරුවට යුවළගේ කාමරයේ තබා තිබියදී මනාලියගේ පාර්ශ්වයේ වැඩිහිටියන් එම කාමරයට ගොස් එය පරීක්ෂා කර රුධිර පැල්ලම් දුටුවහෝත් තම තමන්ගේ වත්කමේ ප්‍රමාණයට එම පිරුව මතට මුදල් මෙන්ම සමහර තැන්වලදී රන් ආභරණද දමා පිටතට පැමිණ පසුව රබන් සහ වැයුම් නාද මධ්‍යයේ ගී ගයමින් නටා සිය දියණියගේ සුපිරිසුදු භාවය පිළිබදව ආඩම්බරයෙන් කථා කරන්නේය.

No comments:

Post a Comment