අකුරු කියවීම




දම්සාර ජ්‍යොතිෂ සේවා පෙන්වා දෙන්නේ ප්‍රථමයෙන්ම විද්‍යාරම්භය හෙවත් අකුරු කියවීම සඳහා නිවසේ සුදුසු ස්ථානයක් පිරිසුදු කර කහ දියර ඉස, මෙිසයක් මත පිරිසිදු සුදු රෙද්දක් එලා දෙපස ගණදෙවි සහ සරස්වතී දේවියගේ රූප තබා ඊට ඉදිරියෙන්  කහදියරෙන් පිරිසිදු කරන ලද (හැකිනම් කෙසෙල් කොල දෙකක් එලා ඒ මත බෙලි කොල නමයක් අතුරා) බුලත් කොල නමයක්, පාට පහකින් මල්ද තබා පසෙකින් පහන් දෙකක් දැල්වීමට සුදානම් කර කපුරු පෙති සුවඳ දුම්ද අවශ්‍ය පුජා ද්‍රව්‍යද ඒ අතර වේ. බුලත් කොළ අතුරා සකසන ලද අඹ, කෙසෙල්, අන්නාසි සහ උක් ඇතුළුව කහ දියරෙන් පිරිසිදු කරගත් පළතුරු වර්ග හතක් සහ තල, මුං, උක් හකුරු, වී පොරි, මී පැණි, උඳු හා තල මිශ්‍ර කැවිලි වර්ග 07 ක් ඇතුළුව කහ දියර ඉසින ලද මුඩ්ඩ ඇති පොල් ගෙඩියක් සහිතව සකසන ලද පළතුරු වට්ටි දෙකක් සකස් කල යුතු අතර ඊට කාසි පඩුරුද දමා භක්තියෙන් යුතුව දේව රූප ඉදිරියෙන් තබන්න.

නැකතට විනඩි 15 කට පෙර තෙරුවණ් වෙනුවෙන් හඳුන්කූරු, පැන් සහ පහන් දල්වා මල්, සුවඳ දුම් පුජා කර විෂ්ණු, කතරගම, ගමිබාර, පත්තිනි, සුමන සමන් අතුළු සියළු දෙවියන්ට දන්නා ආකාරයෙන් පිං අනුමෝදන් කර තෙරුවන් සරණින් සියළු දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් දරුවාගේ අපල උපද්‍රව දුරු වී, කරදර බාධක ඇත්නම් ඒවාද දුරුවී අධ්‍යාපන සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තකත්වයට පත්වේවා අධිෂ්ඨාන කරගන්න.

අවම වශයෙන් ”ස්වස්ථි සිද්දම්” යන්නෙන් තුන් වරක් සච්ඡායනා කර ගණ දෙවියන්ට වෙන්කරන ලද පහන දල්වා පළතුරු පූජාව දෙවියන්ට පුජා කරන්න. අනතුරුව පොල්ගෙඩිය ගෙන කපුරු පෙත්තක් පොල් ගෙඩිය මත දල්වා ”ඕම් ගනේෂාය නමඃ” යනුවෙන් භක්තිමත්ව කියමින් පොල් ගෙඩිය ගණ දෙවි රූපය ඉදිරියේ සත්වරක්ද දරවාගේ හිස වටා  කරකවා පූජා වටිවිය අසලම බුලත් කොලයක් මත තබන්න. පසුව සරස්වතී දෙවියන් ඉදිරියේ වු පහනද දල්වා මල් සුවඳ දුම් පුජා කර  පළතුරු වට්ටියද එලෙසම පූජා කරන්න. සරස්වතී දෙවියන්ට වෙන් කරන ලද පොල් ගෙඩියද ඒ  ආකාරයෙන්ම ”ඕම් සරස්වතී දේවි මේ මුඛ තුල ධාරනේශ්වහඃ” යනුවෙන් කියමින් වතාවත් සිදු කරන්න.

අනතුරුව තුණුරුවන්ගේ සරණින් දේව ආශිර්වාදයෙන් දරුවාගේ අධ්‍යාපන කටයුතු  සර්වප‍්‍රකාරවම සාර්ථක වේවා යන යහපත්  අධිෂ්ඨානයෙන් යුතුව සුබ නැකතින් නියමිත දිශාව බලා දරුවාට මුලින්ම ස - ත - ද - ව - ට - ඉ - ඹ - උ - ප - ග - හ - බ - ඊ - සා - ඩා - තා - වා - පා - දා - ඌ - ඕ යන දේවාක්‍ෂර කියවන්න. කියවීමේදී සයන්න ආදී වශයෙන් නොව ”ස” ආකාරයෙන් කියවන්න. ඊළඟට  අ - ආ - ඇ - ඈ ආදී වශයෙන් හෝඩි පොත කියවන්න. ඉන්පසු දරුවාගේ උපන්දිවයේ ඉලක්කම් එකතු කර අවසානයේදී එන ජය අංකය මූලිකවත්, ඉතිරි ඉලක්‌කම් පසුවටත් කියවන්න. අකුරු ලිවීමේදීද ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීම වඩා යෝග්‍ය වේ.

පූජාව අවසානයේ දී පැය භාගයකට පමණ පසුව පුජා දව්‍යත් පලතුරු ආදියෙන් කොටසක් කුරල්ලන් සදහා සුදුසු උස් තැනක තබන්න. ඉතිරිය දරුවා සමග සෙසු අය භුක්ති වින්දාට වරදක් නොමැත. පොල් ගෙඩි දෙකෙන් මුං ඇට මිශ‍්‍ර කිරි බතක් සාදා එහි ප‍්‍රථම කොටස දරුවා ලවා  බුදුන්ට පුජා කර ඉතිරිය දරුවාද සමග බෙදා හදාගෙන ආහාරයට කරන්න.

අකුරු කියවීම මව පියා හෝ වෙනත් දරුවාගේ යහපත පතන දරුවාට සෙනෙහසක් ඇති කෙනෙකු කියවීම සුදසුයි. ජන්ම පත‍්‍රය අනුව දරුවාගේ අධ්‍යාපනය සඳහා බාධක වන ග‍්‍රහ අපල ඇත්නම් නැකත් දිනයට ප‍්‍රථම ඊට සුදුසු වත් පිලිවෙත් අනුගමනය කිරීම වඩා යෝග්‍ය වේ. මේ ආකාරයෙන් දම්සාර ජ්‍යොතිෂ සේවා වෙතින් පෙන්වා දුන්නේ ඉතාම සරල ආකාරයෙන් දරුවාගේ අකුරු කියවීම සිදු කරන ආකාරය වන අතර සෙසු ආගම් භක්තිකයෝ තමාගේ ආගමික කටයුතු වලින් පසුව ඉහත ආකාරයට යහපත් අධිෂ්ඨානයෙන් යුතුව නියමිත නැකතට කටයුතු කරන්න.

No comments:

Post a Comment